වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ දකුණු පිටිගල් කෝරලයේ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති මැටිකොටුව නම් වූ මනරම් ගම්මානය දකුණින් සුන්දර වූ මා ඔය ගං කොමලියගේ පහස ලබමින් උතුරු දෙසින් දංකොටුව නගරයටත්, නැගෙනහිරින් ඇටියාවල සහ බටහිර දෙසින් මෝරුක්කුලිය ගම්මානවලටත් මායිම්ව පිහිටා ඇත. හෙක්ටයාර් ක භූමි භාගයක පිහිටි මැටිකොටුව ගම්මානයේ පවුල් 600 ක් පමණ පිරිසක් ජිවත්වන අතර ඔවුහු සියලු දෙනාම ස්ථීර නිවාස වල වාසය කරති. මැටිකොටුව ගමෙහි ජනගහනය 2000 ක් පමණ වේ. ඉන් 500ක පමණ පිරිසක් රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන අතර 50 කට ආසන්න පිරිසක් විදෙස් රැකියාවල නිරතව ඇත.
ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය හා මැටි කර්මාන්තය ආශ්රිත උලු ගඩොල් නිෂ්පාදන සම්බන්ධ රැකියාවලින් තම දිවි පෙවෙත සරිකරගන්නා ජන කොටසක් මෙහි වාසය කරති. අක්කර 28 පමණ ප්‍රදේශයකට විහිදී යන මැටිකොටුව මහ වෙල් යාය අවට ප්‍රදේශය මැටි හා වැලි කැපීමට නිතර ගොදුරු වුවද තම වගා බිම් ආරක්ෂා කරගනිමින් අහස් දියෙන් වී වගාකරන ගොවි මහතුන් කිහිපදෙනෙක්ම තවමත් එහි සිටිති.
දඹදෙණි රාජධානියේ රජකල 3 වන විජයබාහු රජතුමා කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවලදී ඒ සඳහා මැටි සපයාගත් ප්‍රදේශය පසු කාලයේ මැටිකොටුව නමින් හඳුන්වන්නට යෙදුන බව ජනප්රවාදයේ එයි. කැලණි විහාරය පිළිසකර කිරීමට හෝ කැලණි විහාරය ආශ්‍රිතව පවත්වාගෙන ගිය මැටි ආශ්රිත නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය සඳහා වශයෙන් හෝ මෙම ප්‍රදේශයෙන් මැටි ගෙනගිය නිසා මැටි-දුන්-කොටුව මැටිකොටුව යන නමින් හැඳින්වූ බව ජනප්‍රවාද සාක්ෂි දරයි.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජසමයේ මා ඔය තරණය කොට ඉංග්‍රීසි හේවායින්ගේ පැමිණීම වැලැක්වීම සඳහා මා ඔය දිගේ සිංහල සේනාවන් යෙදවූ බවත් එසේ පැමිණි සිංහල සේනාවෙහි නායකයෙකුට ගම් වරයක් ලෙස මෙම ප්‍රදේශය පවරාදීමෙන් පසු ඔහු විසින් මෙහි ජනාවාස පිහිටුවාගත් බවත් ඔහුගේ පරපුරෙන් පැවත එන පිරිස මැටිකොටුව ගම්මානයේ මුල් පදිංචිකරුවන් බවත් ජනප්රවාදයේ එයි.
මැටිකොටුව ශ්‍රී සුරේන්ද්‍රාරාම විහාරස්ථානය අපේ ගමෙහි ඇති පැරණිතම පූජණීය ස්ථානය වෙයි. මුලින්ම මෙහි තිබී ඇත්තේ ටැම්පිට ඉදිකල අයියනායක දේවාලයක් යැයි විශ්වාස කෙරේ. අයියනායක දෙවියන් වෙනුවෙන් කැපකර තිබූ මෙම ටැම්පිට දේවාලය පිලිබඳව පුස්කොල පොතකින් තොරතුරු දැනගත් කැළණි විහාරයේ විසූ දිවාකර නම් වූ තෙරුන්වහන්සේ නමක් ක්‍රි. ව. 1825-1835 කාලයේදී මෙහි වැඩමකොට ගම්වාසීන්ගේ උපකාරයෙන් වල් බිහිව තිබූ දේවාලය පළමුවෙන් පිළිසකර කොට දේවාල බිමෙහි බුදුමැදුරක් ඉදිකොට දෙවියන්ගේ ආරාමය යන අරුතින් ශ්‍රී සුරේන්ද්රාරාමය යන නමින් විහාරස්ථානය නම්කළ බව පිළිගැනේ. මෙසේ මුලින්ම ඉදිකළ විහාර මන්දිරය හා අයියනායක දේවාලය අදටත් දක්නට ඇත.
දිවාකර තෙරුන්වහන්සේට සහයෝගය දක්වමින් කටයුතු කළ රත්නායක මුදියන්සේලාගේ තෙපානිස්, සමරප්පෙරුම ආරච්චිගේ කරොන්චි අප්පුහාමි, මදුරප්පෙරුම ආරච්චිගේ මේදිරිස් අප්පුහාමි, නාරානාපිටි පතිරන්නැහැලාගේ තෙන්හාමි වෙදරාල, විජෙසිංහ ආරච්චිගේ උංගුරාල, හැවනගේ අගෝසිංඤො ගුණතිලක, මිනුවන්ගොඩ සිට පැමිණි ජයසේකර පරපුරේ මිනුවන්ගොඩ අත්තා, මානිංගලින් පැමිනි සුභසිංහ පරපුරේ උක්කු බණ්ඩා, මෝරුක්කුලිය රාජපක්ෂ පරපුරේ වන්නකුරාල සහ ගල්ලත් ආරච්චිගේ උමාරිස් යන අය හැඳින්විය හැක. මේ අයගෙන් පැවත එන පවුල්වල සාමාජිකයින් අදටත් විහාරස්ථානයේ දායකත්වය දරයි. දංකොටුව රෝහල් මංසන්දියේ සිට සුරේන්ද්‍රාරාම විහාරස්ථානය දක්වා දිවෙන මාර්ගය සෑදීමේදි මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේද මෙම දිවාකර තෙරුන් වහන්සේයි.
ක්‍රි. ව. 1905 ජූලි 25 වන දින රත්නපාල නම් තෙරුන්වහන්සේ විසින් තම ගුරුදේවයන් වූ දිවාකර තෙරුන්වහන්සේගේ ඉල්ලීම පරිදි එවකට කැළණිය විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිවෙනාධිපති පදවිය දැරූ පූජ්යාචාර්ය රත්මලානේ ධම්මකීර්ති ශ්‍රී ධර්මාරාමාභිධාන කොලඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ස්ථවිරපාදයාණන් වහන්සේට මෙකී සුරේන්ද්‍රාරාම විහාරස්ථානය ඔප්පුවක් මගින් පූජාකර ඇත.එතැන් පටන් මැටිකොටුව ශ්‍රී සුරෙන්ද්රාරාම විහාර්ස්ථානයේ විහාරාධිපතිත්වය විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිවෙනාධිපතිවරුන්ට හිමි වූ අතර මෑතදී වැලමිටියාවේ කුසලධම්ම නා හිමිගේ අපවත් වීමෙන් පසු වැලමිටියාවේ ඥාණරතන නා හිමි විහාරාධිපතිත්වය දරයි.
මෙසේ විහාරාධිපතිත්වය විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිවෙනාධිපතිවරුන්ට හිමි වුවද විහාරස්ථානයේ විහාරාධිකාරීත්වය ගෙන ගියේ පහත සඳහන් හිමිවරුන් ව්සිනි.
1. කිරිකිත්තේ ධම්මපාල හිමි.
2. වාද්දූවේ රේවත හිමි.
3. කෑරගල ශ්‍රී සෝමානන්ද හිමි.
4. මැල්ලව චන්දානන්ද හිමි.
5. වෙද හාමුදුරුවෝ හිමි.
6. බඹරබැද්දේ චන්දානන්ද හිමි.
7. පන්නිපිටියේ ඉන්දසාර හිමි.
8. හුනුපොලගම වත්රශ්රී.
9. හීරළුගෙදර අත්තදස්සි හිමි.
10. මැල්ලව චන්දානන්ද හිමි.
11. කළුගල ඉන්ද්‍රසිරි හිමි.
12. ඉදිපරපේ ධම්මසිරි හිමි.
13. යටිහන විමලබුද්ධි හිමි.
ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයට අයත් මෙම විහාරස්ථානය බුදු සිරිතේ විව්ධ අවස්ථා නිරූපණය කෙරෙන මූර්තිවලින් සමන්විත විහාර මන්දිරයකින්ද, අලංකාර චෛත්යකින්ද, මහානුභාව සම්පන්න බෝධියකින්ද, සුවිසල් ධර්ම ශාලාවකින් හා සංඝාවාසයකින්ද සමන්විතයි. මෙහි විහාර මන්දිරයෙහි චිත්‍ර විජයදාස නම් ච්ත්‍ර ශිල්පියෙකු විසින් නිර්මාණය කර ඇති අතර පසු කාලයක මැටිකොටුවෙහිම විසූ චිත්‍ර ශිල්පී කේ. ජී. හේමදාස මහතා විසින් විහාර මන්දිරයෙහි චිත්‍ර නිර්මාණය කර ඇත.
මෙම විහාරස්ථානයේ වැඩ විසූ කිරිවන්තුඩුවේ පඤාසාර හිමියන් නමින් ආරම්භ කර ඇති ශ්‍රී පඤාසාර දහම්පාසල දැනට වසර 78 කට අධික කාලයක් තිස්සේ ප්‍රදේශයේ බොදු දරු දැරියන්ට දහම් අධ්‍යාපනය ලබාදෙයි.
සිරි සුදස්සනාරාමය හෙවත් අළුත් පන්සල මැටිකොටුව ගමෙහි ඇති අනෙක් විහාරස්ථානයයි. ශ්‍රි සද්ධම්මාවාගීශ්වරාචාර්ය දෝතැල්ලේ ශ්‍රී ගුනානන්දාභිදාන හලාවත පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1910. 07. 05 දින මැටිකොටුවෙ සව්සේරිස් රත්නායක හා ආරොන් රත්නායක යන මහත්වරුන්ගේ ආරාධනයෙන් වස් විසූ ආවාසය පිහිටි ඉඩම අක්කර භාගයක් වූ අතර ඇවරිවත්තේ රන්ශ්රිනෙල් ප්‍රේරා කුමාරසිංහ වෙදරාලහාමි සහ මැටිකොටුවේ රත්නායක මුදලිගේ සිඤ්චිනෝනා ගුණතිලක ( ඇවරිවත්තේ වෙදහාමිනේ ) යන අය කෝන්ගහ ඕවිට ඉඩමෙන් තවත් අක්කරයක් මිලදීගෙන 1912 මැයි 12 දින මහා සංඝරත්නය වෙත සාංඝීක කොට පූජා කළ අතර වීරවර්ධන පතිරන්නැහැලාගේ සියදෝරිස් වෙද තැන නැගෙනහිර දෙසින් තවත් බඹ 32 ක් දිග පොල් තන්තියක් පූජා කළේය.
ඉහත කී ප්‍රධානීන් හා සතර පේරුවේ දායකයින් එක් වි මෙකී ඉඩමෙහි 1915 ජූලි මස 08 වන ගුරු දින දෙමහල් සංඝාවාසය ගොඩනැගීම ආරම්භකර 1920 මැයි 21 වන බුද දින වැඩ නිමකර විවෘත කරන ලදී. බුද්ධ මන්දිරය 1946 අගෝස්තු 18 වන ඉරු දින මුල් ගල් තබා 1959 අප්‍රේල් 30 වන ගුරු දින පූජ්‍යපාද කිරිවන්තුඩුවේ ශ්‍රී පඤාසාර කොලඹ හලාවත දෙපලාතේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රථම පුෂ්ප පූජාවෙන් විවෘත කෙරිණ.
ධර්මශාලාව 1966 මැයි 26 ගුරු දින ආරම්භ කර 1972 අගෝස්තු 18 වන කිවි දින පූජ්‍යතර රදලියගොඩ ශ්‍රී සුමන දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් විවෘත කරන ලදී. ඝන්ඨා ස්ථම්භය හා දේවාලය 1977 අගෝස්තු 31 වන බුද දින පටන් ගෙන 1978 අගෝස්තු 05 ශනි දින මහ පෙරහරක් පවත්වා විවෘත කෙරිනි.
අටමුණි සෑය 1982 අප්‍රේල් 29 ගුරු දින මුල් ගල් තබා 1983 මැයි මස 26 වන ගුරු දින පූජ්‍යපාද හල්ගස්තොට ශ්‍රී දේවානන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පුෂ්ප පූජාවෙන් විවෘත කරන ලදී.
ආනන්ද බෝධි අංකුරය 19965 ජුනි 6 වන පොසොන් පෝදා රෝපණය කොට මල් ආසන හා බෝධි ප්රාකාරාදිය සාදවා 1998 ජුලි 10 වන කිවි දින විවෘත කරන ලදි. සිරි සුදස්සනාරාමයෙහි නිර්මාතෘ දෝතැල්ලේ ශ්‍රී ගුණානන්ද නා හිමිපාණන්ගේ නමින් සිරි ගුණානන්ද දහම් පාසල පූජ්‍ය පණ්ඩිත හග්ගමුවේ සිරි රතනාලංකාර හිමිපාණන්ගේ ප්‍රධානාචාර්යත්වයෙන් 2023 මැයි මස 25 වන දින ආරම්භ කරන ලදි.
ශ්‍රී සද්ධම්මාවාගීශ්වරාචාර්ය දෝතැල්ලේ ශ්‍රී ගුණානන්දාභිධාන හලාවත පළාතේ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මැටිකොටුව සිරි සුදස්සානාරාම විහාරස්ථානයෙහි ආරම්භක විහාරාධිපතීත්වය දැරූ අතර 1960 උන්වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය පූජ්‍ය පණ්ඩිත හග්ගමුවේ සිරි රතනාලංකාර හිමිපාණන් විහාරාධිපතීත්වයට පත්විය. 2021 අප්‍රේල් මස 15 වන දින පූජ්‍ය හග්ගමුවේ සිරි රතනාලංකාර හිමිපාණන්ගේ අපවත් වීමෙන් පසු උන්වහන්සේගේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය පූජ්‍ය කොසඹෑනුවර ලංකාරාමාධිපති පූජ්‍ය පණ්ඩිත තලම්මැහැර සිරි විසුද්ධි හිමිපාණන් අද දක්වා විහාරාධිපතීත්වය දරයි.
මෙම උභය විහාරයන්හි වැඩ විසූ සහ වැඩ වෙසෙන සංඝ පීතෘවරයාණන් වහන්සේලාගේ අනුශාසකත්වය නිරතුරුව ලබන මැටිකොටුව ගම් වාසීන් ඉතා සාමකාමී නිවහල් ජීවන රටාවකට හුරුව තම ජීවිකාවන් ගෙන යනු ලබයි.
මැටිකොටුව ගම්මානයට දකුණු දෙසින් මායිම්වන මා ඔය දිගින් කිලෝමීටර් 134 (සැතපුම් 83) වන අතර ලංකාවේ ඇති ගංගා අතර දිගින් නව වන ස්ථානය හිමිකර ගනී. පළාත් 4ක් හා දිස්ත්‍රික්ක 5ක් හරහා ගලාබසිනා මා ඔය කෑගලු දිස්ත්‍රික්කයේ අරනායක පිහිටි රාස්සව කන්දෙන් පටන්ගෙන මීගමුව කොච්චිකඩේ කම්මල මෝයෙන් මුහුදට වැටෙයි. මා ඔයෙන් කොටසක් වශයෙන් ඇදහැලෙන මීටර 30ක උසින් යුත් අරනායක ගඟ ඉහල කෝරලේ උඩුවෙල පිහිටි අසුපිනි ඇල්ල දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දිනාගත් රමණීය දියඇල්ලකි. දළ වශයෙන් වාර්ශිකව ජලය කියුබ්ක් මීටර දශලක්ශ 3644 ක් ධාරිතාවයකින් යුත් මා ඔයෙහි මුලු ජල ධාරිතාවයෙන් 34 % ම ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා බසි.